සූර්යයා යනු තාරකාවකි. මෙය මුළුමනින්ම පාහේ වායුන්ගෙන් සැදුම්ලත් ගෝලයකි. සූර්යයා ශක්ති උල්පතක් වන අතර එය පෘථිවියට ආලෝකය මෙන්ම උණුසුම ද ලබා දෙයි. මේ අනුව අපගේ ආහාර ඉන්ධන ඇතුළු අප පරිහරණය කරන සියලුම ශක්තීන්ගේ උල්පත ලෙස සූර්යයා හැඳින්වීමට පිළිවන. මිනිසා අතීතයේ පටන් සූර්යයා සම්බන්ධයෙන් උනන්දු වූ බව පැරැණි ශිෂ්ටාචාර සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. මේ අතර ඊජිප්තු ජාතිකයන් චීන ජාතිකයින් සහ ඇමරිකානු ආදිවාසීන් වැදගත් වේ. එසේම සූර්ය‍යන් දස දෙනෙකු සිටින බව චීන ජාතිකයන් විශ්වාස කරනු ලැබීය. සූර්යයා ඉතාමත් විශාල වන අතර පෘථිවියට ආසන්නයෙන්ම ඇති තාරකාව ද වේ. මෙහි වයස වසර බිලියන 4.5 ක් පමණය. සූර්යයා පෘථිවියේ සිට කිලෝ මීටර මිලියන 145 ක් (නක්ෂත්‍ර ඒකකයක්) පමණ දුරකින් පිහිටා ඇත. ඊළඟට පෘථිවියට ආසන්නයෙන්ම ඇති තාරකාව පිහිටා ඇත්තේ නක්ෂත්‍ර ඒකක 300,000 පමණ දුරකිනි. සුර්යා පෘතුවියට වස්තුව වන අතර එය පෘථිවියේ ජීවය පැවැත්මට උපකාරී වේ.  පෘථිවිය මත දේශගුණික විපර්යාස ඇති වීමටත් සාගරවල දියවැල් ඇතිවීමටත් සහ වාතයේ චලනය හෙවත් සුළඟ ඇති වීමටත් සූර්ය ශක්තිය බලපානු ලැබේ.

 

සූර්යයා පෘථිවියේ ප්‍රමාණය මෙන් 333,400 පමණ විශාල වස්තුවක් වේ. එහි විශ්කම්භය කිලෝමීටර 1,391,020 පමණ වේ. මුළු සෞරග්‍රහමණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86% ක පමණ ප්‍රමාණයෙන් සූර්යයා තුල අඩංගු වේ. එහි හරයේ උෂ්ණත්වය කෙල්වින් අංශක 15,557,000 පමණ වේ. එහි මධ්‍යයේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව සිදු වන අතර එයින් නිපදවෙන මුළු ශක්තිය තත්පරයට කිලෝ වොට් බිලියන ට්‍රිලියන 383 ක් පමණ වේ. මෙය TNT පුපුරන ද්‍රව්‍ය ටොන් බිලියන 100 තත්පරයක් තුළදී පිපිරීමෙන් ලැබෙන ශක්තියට සමානවේ. සූර්යයා තුල විකිරණ කලාපය (radiative zone) සහ සංවහන කලාපය (convective zone) යනුවෙන් එකිනෙකින් වෙන් වූ කලාප හරහා ගොස් සංවහන කලාපය හරහා ද ගමන් කරයි. එහිදී උෂ්ණත්වය කෙල්වින් අංශක මිලියන 8 සිට කෙල්වින් අංශක 7000 දක්වා පහළ බසී. එසේම සූර්යයා මධ්‍යයේ ඇති ෆෝටෝන ( ෆෝටෝන යනු විද්‍යුත් චුම්බක ගුණ ඇති කුඩා අංශූන් විශේෂයකි. මේවා තරංග පැකට්ටු වශයෙන් හැඳින්වෙයි )පිටත පෘෂ්ඨයට පැමිණීමට වසර මිලියන දහයක් පමණ කාලයක් ගතවේ. (සූර්යයා වායුමය වස්තුවක් වීමත් වැඩි වේගයකින් තම අක්ෂය වටා භ්‍රමණය වීමත් මීට හේතු වේ.) සූර්යයාගේ සමකය ආසන්නයේ ඇති ප්‍රදේශවල භ්‍රමණ කාලය පෘථිවි දින 25.4 පමණ වන අතර ද්‍රව ප්‍රදේශවල භ්‍රමණ කාලය පෘථිවි දින 35 පමණ වේ.

සූර්ය ලප සහ ප්‍රකාශ ගෝලය

සූර්ය ලප සූර්යා මතුපිට අඳුරු ලප ආකාරයෙන් දිස්වේ. එම ලප අඳුරු කාලගුණ තත්ත්වයක් පවතින විටදී පියවි ඇසින් වුවද දැක හඳුනා ගත හැකි වේ. සූර්ය ලප සම්බන්ධයෙන් වාර්තා තැබීම මීට සියවස් කිහිපයකට පෙර ආරම්භ වූ අතර පළමුවෙන්ම දුරේක්ෂයක් මාර්ගයෙන් සූර්ය ලප නිරීක්ෂණය කරනු ලැබුවේ ගැලිලියෝ ගැලිලි විසිනි. සූර්යයා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූයේ 19 වන සියවස මුල් භාගයේ දී ය.  මෙම සූර්ය ලප සමූහ වශයෙන් මෙන්ම තනි තනිව ද දක්නට ලැබේ. සූර්යයා මතුපිට පවතින ප්‍රධාන සූර්ය ලප දෙකක් සතුව සමාන චුම්භක ද්‍රව්‍යයන් පවතින අතර එම ලප පවතින සූර්යයාගේ අර්ධ ගෝල කලාපය තුළ ඇති අනෙකුත් සූර්ය ලප සතුව ද පෙර සඳහන් කළ සූර්ය ලපයට සමාන චුම්භක ධ්‍රැවයන් පවතී. ප්‍රධාන සූර්ය ලප සමඟ ඇති කුඩා සූර්ය ලප සතුව ඊට ප්‍රතිවිරුද්ධ චුම්බක ධ්‍රැවයන් පවතී. මෙසේ ඇති වෙමින් සහ නැති වෙමින් පවතින සූර්ය ලප පවතින ස්ථාන ආරුක්කු හැඩයෙන් යුතු චුම්බක බල රේඛා මගින් ප්‍රකාශ ගෝලය මතුපිට සම්බන්ධ වී පවතී. සූර්යයා මතුපිට ඇති උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් සූර්ය ලප සතු වන බැවින් ඒවා අඳුරු කලාප ලෙස දිස්වේ.  ඒ අනුව ඒවායේ උෂ්ණත්වය ප්‍රකාශ ගෝලයේ උෂ්ණත්වයට වඩා කෙල්වින් අංශක 2000 පමණ වූ අඩු අගයක් ගනියි. ඒවා සතු වන චුම්බක බල රේඛා මගින් සූර්ය පෘෂ්ඨයට පතුලින් ඇති සංවහනය වෙමින් පවතින උණුසුම් වායුන් පිටතට පැමිණීම වළකයි.

සූර්ය ක්‍රියාකාරීත්වය හැදෑරීම සඳහා සූර්ය ලප ප්‍රමාණය අධ්‍යයනය කරනු ලබයි. සූර්ය ලප ඇතිවීම චක්‍රානුකූලව සිදු වේ. මේ අනුව වසර 11කට වරක් සූර්යයා මතුපිට වැඩි සූර්ය ලප ප්‍රමාණයක් දර්ශනය වේ. සූර්ය ලප වැඩිවීමේදී සූර්යයාගේ ක්‍රියාකාරීත්වය වැඩිවීමත් සූර්ය ලප අඩුවීමේදී සූර්යයාගේ ක්‍රියාකාරීත්වය අඩුවීමත් සිදුවේ. තවද සුර්යාගේ චුම්භක ක්ෂේත්‍රයේ සහ සූර්යයා මත ඇති ප්‍රධාන සූර්ය ලප වල චුම්බක ක්ෂේත්‍රයන් අතර සෑම වසර විසි දෙකකට වරක්ම විචල්‍යතාවයන් ඇතිවේ.

සූර්යයාගේ හෝ වෙනත් තාරකාවක ප්‍රකාශ ගෝලය (photosphere) යනුවෙන් හැඳින්වනුයේ එහි දෘෂ්‍ය මතුපිටයි. එය කිලෝමීටර 300 පමණ ඝණකමකින් යුක්ත වේ. මෙය හරහා විකිරණයන් ගමන් කරන අතර මෙය වායුන්ගෙන් සැදුම්ලත් ප්‍රදේශයක් වේ. මෙය සූර්යයාගේ ආලෝකය පිට කිරීම සඳහා උපකාරී වේ. ප්‍රකාශ ගෝලයේ උෂ්ණත්වය කෙල්වින් අංශක 5,780 පමණ වේ. මෙම ප්‍රකාශ ගෝලය පදනම් කොට ගනිමින් සූර්ය ලප සූර්ය‍ය ගිනි දළු සහ දීප්තිමත් ප්‍රදේශ ඇතිවීමත් පැවතීමත් සිදුවේ.

වර්ණ ගෝලය සහ සූර්ය කොරෝනාව

වර්ණ ගෝලය (chromosphere) ප්‍රකාශ ගෝලයට එපිටින් පිහිටා ඇත. මෙය සාමාන්‍යයෙන් අදෘෂ්‍යමාන ස්ථරයක් වන අතර එහි ඝණකම කිලෝමීටර 2,500 පමණ වේ. ප්‍රකාශ ගෝලයට වඩා අඩු දීප්තියක් මෙය සතු වන අතර මෙහි ඇතුළත උෂ්ණත්වය අඩු අගයක් ගනී. නමුත් පිටතට යත්ම එහි උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වේ. ඒ අනුව එහි පිටත උෂ්ණත්වය කෙල්වින් 10,000 ක් පමණ වේ. පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇති වූ අවස්ථාවකදී මෙම වර්ණ ගෝලය නිරීක්ෂණය කිරීමේ හැකියාව උදාවේ. පූර්ණ සූර්යග්‍රහණයකදී ප්‍රකාශ ගෝලය සම්පූර්ණයෙන්ම වැසී යාම හේතුවෙන් එම අවස්ථාවේදී පමණක් මෙය වළ්ල්ලක ආකාරයෙන් දර්ශනය වේ. සූර්යයාගේ ක්‍රියාකාරීත්වය වැඩි වීමත් සමඟ වර්ණ ගෝලය තුළද වෙනස්කම් ඇතිවේ. මෙහිදී සූර්යය සමකයට උතුරින් සහ දකුණින් ඇති කලාපවල දීප්තිය වැඩි වීමක් සිදුවේ. එසේම එම දීප්තිමත් කලාපවලට අභ්‍යන්තරයෙන් ප්‍රකාශගෝලය තුළ සූර්ය ලපවල වැඩිවීමක් ද සිදුවේ. එසේම සූර්යය දළු වැඩි වශයෙන් මෙම කලාපය තුළ පවතී. මෙම කලාපය සතුව පවතින ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයකන් මගින් වර්ණ ගෝලයත් සුර්ය‍ය කොරෝනාවත් අතර අයනීකරණය වූ වායුන් රඳවා තබා ගනී.

සුර්ය කොරෝනාව (corona) හෙවත් රැස් වළල්ල පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකිවන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වූ අවස්ථාවල දීය. මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රකාශ ගෝලය වැසීයාම හේතුවෙන් මෙය පැහැදිලිව දර්ශනය වේ. මෙය සූර්යය වායුගෝලයේ පිටස්තර කොටස වෙයි. ඒ සූර්යය ගෝලය වටකරමින් පවතින්නකි. සූර්යයාගේ ප්‍රකාශ ගෝලයටත් වර්ණ ගෝලයටත් වඩා වැඩි උෂ්ණත්වයක් මේ සතුව පවතී. එහි අගය කෙල්වින් අංශක 2,000,000 සිට 3,000,000 අතර අගයක් ගනියි. මෙය අධික ලෙස දීප්තියක් පිටකරන අතර අයනීකරණය වූ වායුන්ගෙන් තැනී පවතී. එමෙන්ම මෙයින් රේඩියෝ තරංග ද පිටකරනු ලබයි. සූර්‍යය කොරෝනාවේ පවතින පුඩු (loops) මගින් සූර්යයා ගෙන් ඉවතට ඇදී එන ද්‍රව්‍ය නැවත සූර්යයා වෙත ඇද ගනු ලබයි. සූරිය නෙරුම් පවතින ස්ථානයන්ගෙන් පිටවන ද්‍රව්‍ය සූර්ය සුළඟ මගින් සෞරග්‍රහ මණ්ඩලය පුරා විසුරුවා හරිනු ලබයි. ඇතැම් අවස්ථාවලදී සුර්ය කොරෝනාව තුළ ඇති දිදුලන විශාල වායු ස්ථරයන් ක්ෂණිකව වේගයෙන් පිපිරී යයි. මෙය Coronal Mass Ejections යනුවෙන් හැඳින්වේ. මෙහිදී ඝණත්වයෙන් අඩු අයනීකරණය වූ අංශුන් සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරීයයි. ඇතැම් අවස්ථාවලදී මේවා සූර්‍යය ගිනිදළු සමගද එක්වේ. එසේ විසිරී යන ද්‍රව්‍ය පෘථිවි ධ්‍රැව ප්‍රදේශවල ඇති ඉහළ වායු ගෝලයන් හා ගැටීමෙන් අවුරෝරා (Aurora) නිර්මාණය කරයි.

සූර්ය සුළඟ

සූර්ය සුළඟ (Solar Wind) යනුවෙන් හැඳින්වෙනුයේ සූර්යයාගේ සිට සෞරග්‍රහ මණ්ඩලය පුරා අධික වේගයකින් ගලා යන අංශ ප්‍රවාහයයි. අයනීකරණය වූ මෙම අංශූන් තත්පරයට කිලෝමීටර 400 – 800 ත් අතර වේගයකින් ගමන් කරයි. ප්‍රකාශ ගෝලයට ඉහළින් ඇති වර්ණ ගෝලය තුළ පවතින දීප්තියෙන් වැඩි උණුසුම් වායු ධාරා මගින් සිදුරු ඇතිවීම හේතුවෙන් එම ප්‍රදේශ වලින් පිටවන අංශූන්ගෙන් සූර්ය‍ය සුළඟ ආරම්භ වේ. එමෙන්ම සුර්යය කොරෝනාවේ ඇති වාෂ්පශීලී අංශූන් ද මෙම සූර්යය සුළඟ සමඟ සම්බන්ධ වී සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරීයයි. සූර්‍යය සුළඟට අංශූන් එක් කරන තවත් සාධකයක් ලෙස කොරෝනීය සිදුරු හැඳින්වීමට පුළුවන. සූර්යය පෘෂ්ඨයට ආසන්නයෙන් පිහිටා ඇති මේවා විශාල පටි ආකාරයෙන් දර්ශනයවේ. මෙම කොරෝනීය සිදුරු (coronal holes) වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සූර්යයාගේ ධ්‍රැව ප්‍රදේශ වලයි. මේවා සතුව ප්‍රභලතාවයෙන් අඩු චුම්භක ක්ෂේත්‍ර පවතින අතර ඒවායේ චුම්බක බල රේඛා සූර්ය පෘෂ්ඨය මත වඩාත් ඈතට වන්නට පිහිටා ඇත. මේවා සූර්යය සුළඟට ද්‍රව්‍ය සපයන ප්‍රභව ලෙස ක්‍රියා කරනු ලබන්නේ ඒවා සතු චුම්බක බල රේඛා ඔස්සේ අයනීකරණය වූ අංශුන් සූර්යයාගෙන් පිටතට රැගෙන ඒම සිදුවන නිසයි. එසේ පැමිණෙන අංශූන් සුර්ය කොරෝනාවේ ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් වාෂ්ප බවට පරිවර්තනය වී සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරී යයි. සූර්යයාගේ ධ්‍රැව ප්‍රදේශවල ඇති කොරෝනීය සිදුරු වලට වඩා වැඩි වේගයකින්, එහි සමක ආසන්නයේ ඇති කොරෝනිය සිදුරුවලින් අංශුන් පිටවේ. එසේ පැමිණෙන අංශු ප්‍රවාහයන් මගින් පෘථිවිය මත භූචුම්බක කුණාටු ඇතිවේ.

සූර්ය ගිනි දළු

සුර්ය පෘෂ්ටයේ ඇතිවන ප්‍රබල පිපිරීම් හේතුවෙන් සූර්යය ගිනිදළු නිර්මාණය වේ. මෙම පිපිරීම් සාමාන්‍යයෙන් සූර්යයාගේ ක්‍රියාකාරී ප්‍රදේශවල වැඩි වශයෙන් සිදුවේ. සූර්යයාගේ ක්‍රියාකාරී ප්‍රදේශවල චුම්භක ක්ෂේත්‍රයන් මතුපිට දීප්තියෙන් වැඩි ප්‍රදේශ මෙන්ම දීප්තියෙන් අඩු සූර්යය ලපද ඇති කරයි. එම ක්‍රියාකාරී ප්‍රදේශ වල ඇතිවන ප්‍රබල පිපිරීම් මගින් සූර්යයාගෙන් ඉවතට ඇදී යන අංශූන් ඇතැම් අවස්ථාවලදී එම ප්‍රදේශ සතුව පවතින ප්‍රබභ චුම්භක ක්ෂේත්‍රයන් මගින් නැවතත් සූර්යයා වෙත ඇදගනු ලබයි. එසේම ඇතැම් සූර්යය ගිනිදළු මඟින් සූර්යයා මතුපිට ඇති අයනීකරණය වූ අංශූන් අධික වේගයකින් සූර්යයාගෙන් පිටතට විසුරුවා හරිනු ලබයි. විශාල ශක්තියක් සූර්ය ගිනි දළු වලින් පිටවන අතර එම ශක්තිය පැයට ජූල් 1026 පමණවේ. සූර්‍යය ගිනි දඬු මඟින් X- කිරණ, ගැමා-කිරණ ඇතුළු අනිකුත් විකිරණයන් පිටකරනු ලබයි. සූර්යයා මත ඇතිවන එම ප්‍රභල පිපිරීම් හේතුවෙන් සූර්යයා මතුපිට කම්පන තරංග ඇතිවේ. ඒවා දෘශ්‍ය පරාසය තුළ නිරීක්ෂණය කිරීමට හැකි අතර පූර්ණ සූර්‍යග්‍රහණයක් අවස්තාවේදී ඒවා නිරීක්ෂණය කිරීමට හැකිවේ. මේවයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන සියයක් පමණ වේ. සූර්යය් ගිනි දළු මගින් සූර්යයා මත ඇති අයනීකරණය වූ අංශූන් සූර්යයාගෙන් පිටතට විසිරී යයි. එසේ විසිරී ගිය අංශුන් දින කිහිපයකට පසුව පෘථිවි වායුගෝලය හා ගැටී අවුරෝරා සංසිද්ධිය ඇති කරයි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රස්ථානය වන සූර්යයා G2V තාරකා ගණයට අයත්වේ. එසේම අපගේ සූර්යයා විචල්‍ය තාරකාවක් ද වේ. මෙය වායූන්ගෙන් සැදුම් ලද්දක් වන අතර එහි මුළු වායු ප්‍රතිශතයෙන් 71% හයිඩ්‍රිජන් වායුව ද 26.5%  හීලියම් වායුව ද 2.5%  වෙනත් වායුන්ගෙන් ද සමන්විත වේ. මෙම තාරකාවේ ආකෘතිය ප්‍රධාන කොටස් හයකින් සමන්විත වේ. ඒවා පිළිවෙලින් සූර්යයාගේ මධ්‍ය (solar core), විකිරණශීලී කොටස (radiative interior), සංවහන ප්‍රදේශය (convective zone),  ප්‍රකාශ ගෝලය (photosphere) , වර්ණ ගෝලය (chromosphere) සහ සූර්යයාගේ පිටත වායුගෝලය හෙවත් කොරෝනාව (solar corona) නම් වේ. මේවායින් ප්‍රකාශ ගෝලයත් වර්ණ ගෝලයත් සුර්ය කොරෝනාවත් සූර්යයාගේ වායුගෝලය තුළ අන්තර්ගත වූ කොටස් වේ. සූර්යය නෙරුම් සහ සූර්ය ගිනිදළු සූර්යයාගේ වායුගෝලයට සම්බන්ධ අනෙකුත් කොටස් වේ. සූර්යයා මැදි වයසේ පසුවන තාරකාවක් වන අතර එහි ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය මත චුම්බක කුණාටු සහ අවුරෝරා වැනි සංසිද්ධීන් ඇතිවේ. සූර්යයා ඉදිරි වසර මිලියන 5.5 ඇතුළත එය සතු ඉන්ධන සියල්ල දවා අවසන් කරමින් රතු යෝධ තාරකාවක අවස්ථාවට පත්වේ. එසේ පැවැති එය සතු ඉන්ධන සියල්ල දහනය කර අවසන් වූ පසු දීප්තිය අඩුවෙමින් සුදුවාමන තාරකාව තත්ත්වයට පත්වෙමින් දීප්තියක් නොමැති වන තරමටම සිසිල් වෙමින් පෘථිවි ප්‍රමාණයට කුඩා වේ.

Leave a Reply

avatar