තාරකා විද්‍යාඥයින් මේ වන විට සූර්යයා වටා කක්ෂගත වී ඇති ග්‍රහක දහස් ගණනක් සොයා ගෙන ඇත. එසේම තවත් අතිවිශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට ඉතිරිව ඇත. මෙම ග්‍රහකවලින් අතිවිශාල ප්‍රමාණයක් පිහිටා ඇත්තේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහලෝක අතර වේ. එනම් අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලය සහ බාහිර සෞරග්‍රහමණ්ඩලය වෙන්වන ස්ථානයේ මෙම ග්‍රහක විශාල ප්‍රමාණයක් පිහිටා ඇත.

ග්‍රහක පිළිබඳව මුල් යුගයේදී විද්‍යාඥයින්ගේ අදහස වූයේ ග්‍රහක වළල්ල පිහිටි ප්‍රදේශයේ ග්‍රහලෝකයක් පිපිරීම හේතුවෙන් ඉතිරි වූ කොටස් ග්‍රහක ලෙස හැසිරෙන බවයි. නමුත් ග්‍රහක වළල්ලේ මුළු ස්කන්ධය ප්ලූටෝගේ ස්කන්ධයටවත් ආසන්න නොවූ බැවින් එම මතය බැහැර විය. වර්තමානයේ පවතින මතය වන්නේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවූ නිහාරිකාවෙන්ම ග්‍රහක ද නිර්මාණය වූ බවයි. එහි ඝනත්වයෙන් වැඩි ග්‍රහක සූර්යයාට ආසන්නව ද ඝණත්වයෙන් අඩු ග්‍රහක සූර්යයාගෙන් ඈත්ව ද පිහිටා ඇත. මෙය සෞරග්‍රහ මණ්ඩලයේ ඝනත්වයෙන් වැඩි ග්‍රහලෝක මුලින් පිහිටා වායු ග්‍රහලෝක පසුව පිහිටීමට සමාන වේ. මෙහි ඇති ඇතැම් ග්‍රහක බ්‍රහස්පති වැනි ග්‍රහලෝක වල ගුරුත්වයට ආකර්ෂණය වී ඒවායේ චන්ද්‍රයන් ලෙස චලනය වේ. අගහරුගේ උප ග්‍රහයන් වන ෆෝබෝස් සහ ඩයිමෝස් මෙලෙස ග්‍රහක වළල්ලෙන් අල්ලාගත් ග්‍රහක දෙකක් යැයි විද්‍යාඥයින් විශ්වාස කරයි. ග්‍රහක වළල්ල තුළ මෙම ග්‍රහක පොකුරු වශයෙන් පැවතීම හේතුවෙන් එහි හිදැස් සහිත ප්‍රදේශ දක්නට ලැබේ. මේවා Kirkwood gaps ලෙස හැඳින්වේ.  ග්‍රහක තැනී ඇත්තේ බොහෝ දුරට පාෂාණ, යකඩ හා සිලිකා වලිනි. ග්‍රහක වල ඇති ආවට තුළ අයිස් ඇති බව විද්‍යාඥයෝ පවසති. විශාල ග්‍රහක එකිනෙක ගැටීම හේතුවෙන් ඒවායෙන් කුඩා ග්‍රහක කැබලි නිර්මාණය වී සෞරග්‍රහ මණ්ඩලය විවිධ ස්ථානවල විසිරී පවතී. නෙප්චුන් ග්‍රහලෝකයට එපිටින් පිහිටි ග්‍රහක වළල්ල කූපර් වළල්ල (Kuiper belt) ලෙස හැඳින්වේ. තවද ඇතැම් ග්‍රහක පෘථිවිය ආසන්නයට පැමිණෙයි. මෙවන් ග්‍රහක ඇපලෝ (Apollo asteroid) ලෙස හැඳින්වේ. වර්ෂ 1968 දී විශ්කම්භයෙන් කිලෝමීටර් 1.4 ක් වූ ඉකාරස් (Icarus) ග්‍රහකය පෘථිවියට කිලෝමීටර මිලියන 6.4 ක් ආසන්නයෙන් ඇදී ගොස් තිබේ.

බ්‍රහස්පති හා සෙනසුරු අතරද සෙනසුරු හා යුරේනස් අතරද ග්‍රහක පැතිරී තිබේ. 1977 දී චාල්ස් කෝවල් විසින් සොයා ගනු ලැබූ චයිරෝන් (Chiron) නම් ග්‍රහකය බ්‍රහස්පති සහ යුරේනස් අතර වූ කක්ෂයක ගමන් කරන බව සොයා ගනු ලැබීය. මෙහි විශ්කම්භය කිලෝමීටර 180 ක් පමණ වේ. මෙම ග්‍රහක සම්බන්ධයෙන් වූ අදහස මුල්වරට ඉදිරිපත් වූයේ වර්ෂ 1770 දශකයේදී ජර්මානු ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ ජොහාන් එළියට් බෝඩ් විසින් සූර්යයාගේ සිට ග්‍රහලෝක වලට ඇති දුරවල් අතර සම්බන්ධය දක්වන ගණිතමය සංකල්පය ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. මෙය බෝඩිගේ නියමය (Bode’s low) ලෙස හැඳින්වේ. මෙම නියමය යොදා ගනිමින් පර්යේෂණ වල යෙදුණු විද්‍යාඥයින්ට අඟහරු සහ බ්‍රහස්පති අතර තවත් ග්‍රහලෝකයක් තිබිය යුතුය යන සැකය ඉස්මතු විය. ඒ අනුව වර්ෂ 1801 දී ගියුසෙපි පියාසේ (Giuseppi Piazzi) විසින් මුල්ම ග්‍රහකය වන සෙරස් (Ceres) සොයාගනු ලැබීය. කිලෝමීටර 913 විෂ්කම්භයක් ඇති මෙය දැනට සොයාගෙන ඇති විශාල ග්‍රහකයයි.

වර්ෂ 1802 දී ඔල්බර්ස් විසින් කිලෝමීටර 523 ක විශ්කම්භයක් සහිත පැලස් ග්‍රහකයද, 1804 දී කාල් හාඩින්ග් විසින් ජුනො ග්‍රහකයද, 1807 දී ඔල්ටර්ස් විසින් වෙස්ටා ග්‍රහකයද සොයාගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන්  විද්‍යාඥයින්ගේ උනන්දුව වැඩි විය. මේ අනුව වර්ෂ 1977 වන විට ග්‍රහක 2000 ද 1989 වන විට ග්‍රහක 4000 පමණ සංඛ්‍යාවක් සොයා ගනු ලැබීය. මුල්වරට ග්‍රහක ආසන්නයට ගොස් පරීක්ෂාවක යෙදුණේ 1989 ඔක්තෝම්බර් 18 වන දින අභ්‍යවකාශ ගත කරනු ලැබූ ගැලිලියෝ යානයයි. මෙම යානය ගැස්පා (Gaspra) ග්‍රහකය වටා යමින් එම ග්‍රහකයේ ඡායාරූප ගැනීමට සමත්විය. එම යානය ගැස්පා (Gaspra) ග්‍රහකයට කිලෝමීටර් 1600 පමණ ආසන්නයෙන් ගමන් කරනු ලැබූ අතර එම ග්‍රහකය මතුපිට ආවාට 600 කට වැඩි සංඛ්‍යාවක් තිබෙන බවද සොයා ගනු ලැබීය. තවද එම යානය මගින් අයිඩා (Ida) නම් වූ ග්‍රහකය සම්බන්ධයෙන්ද දත්ත පෘථිවියට එවනු ලැබීය. එම ග්‍රහකය කිලෝමීටර 52 පමණ විශ්කම්භයකින් යුක්ත වේ. එහි ඇති විශේෂත්වය වන්නේ ඊට වඩා කුඩා උප ග්‍රහකයක් තිබීමයි. එම උපග්‍රහකයා Dactyl නමින් හැඳින්වේ. වර්ෂ 1999 දී පෘථිවියට ආසන්නයෙන් ඇති ග්‍රහකයන් සම්බන්ධ නිරීක්ෂණයන් සඳහා NEAR (Near Earth Asteroid Rendezvous) නමැති අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කරනු ලැබීය.

Leave a Reply

avatar